පිළිකාවට අත වනන පැණි බීම සහ පලතුරු යුෂ

Science

Soft Drink

සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති.

ලක්ෂයකට අධික පිරිසක් යොදා ගනිමින් වසර පහක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල මත මෙම නිගමනයට පැමිණ ඇති අතර එම අධ්‍යයනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ද (British Medical Journal) පළකර තිබිණ.

රුධිරයේ සීනි මට්ටම්වල බලපෑම මෙම පිළිකා අවදානමට හේතුව විය හැකි යැයි, පර්යේෂණය මෙහෙය වූ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පැරිස්හි උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ අනුමාන කරති.

පැණි බීමක් යනු කුමක් ද?

සීනි සාන්ද්‍රණය 5% කට වඩා වැඩි නම් එය පැණි බීමක් හෝ සීනි සහිත පානයක් (sugary drinks) ලෙස පර්යේෂකයෝ අර්ථ දක්වති.

එය පළතුරු යුෂ, සිසිල් බීම, රස කාරක යෙදූ කිරි, ශක්ති ජනක පාන හෝ සීනි අඩංගු කළ තේ හෝ කෝපි විය හැක. සීනි මිශ්‍ර නොකළ (no added sugar) පලතුරු බීම ද මීට ඇතුළත්ය.

සීනි වෙනුවට කැලරි රහිත කෘතිම රසකාරක යෙදූ බීම වර්ග ද (diet drinks using zero-calorie artificial sweeteners) මෙම පර්යේෂණයට යොදාගෙන ඇති නමුත් එම බීම පානය කිරීම සහ පිළිකා හටගැනීම අතර සම්බන්ධයක් සොයා ගැනීමට හැකි වී නැත.

දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා, පැණි බීම මිලි ලීටර් 100 ක් අමතරව පානය කිරීම තුළින් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යා හැකි බව මෙම පර්යේෂණයේ නිගමනය වී තිබේ. සතියකට සිසිල් බීම කෑන් දෙකක් පානය කිරීමෙන් මෙම අවදානමට ගොදුරු විය හැක.

පර්යේෂණයට යොදා ගත් සමස්ත පිරිස අනුපාතයක් ලෙස ගත් කල සෑම පුද්ගලයන් 1000ක් අතරින් විසි දෙදෙනෙකු (22) පිළිකා තත්ත්වයක් පෙන්නුම් කර ඇත.

පර්යේෂකයන් පවසන්නේ සමස්ත පිරිස ම දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අමතරව මිලි ලීටර 100ක් පැණි බීම පානය කළේ නම් වසර පහක් තුළ තවත් හතර දෙනෙකුට පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය. ඒ අනුව මෙම අනුපාතය දහසකට 26 දෙනෙකු දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ඔවුහු පවසති.

READ MORE:  The evolution of puppy dog eyes

“සීනි සහිත බීම සහ පිළිකා අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට මේ අනුව අනුමාන කළ හැකි නමුත් එය සහතික කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදුකිරීමට අවශ්‍යයි,” එක්සත් රාජධානියේ පිළිකා අධ්‍යයන ආයතනයේ දත්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වෛද්‍ය ග්‍රැහැම් වීලර් පවසයි.

මේ අධ්‍යයනය අතරතුර වාර්තා වූ පිළිකා රෝගීන් අතරින් 693 දෙනෙකුට පියයුරු පිළිකාවත් 291 දෙනෙකුට පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ 166 දෙනෙකුට මහා බඩවැල ආශ්‍රිත පිළිකා වැළඳී තිබිණි.

මෙය නියත සොයා ගැනීමක් ද?

නැත – මේ අධ්‍යයනයේදී දත්තවල රටා පැහැදිලිව හඳුනාගත හැකි මුත් ඒවා පැහැදිලි කළ නොහැක.

ඒ අනුව ඉන් පැහැදිලි කෙරෙනුයේ දිනකට අඩු බීම ප්‍රමාණයක් (අවම වශයෙන් දිනකට මිලි ලීටර් 30 ට වඩා අඩුවෙන්) පානය කරන පුද්ගලයෙකුට සාපේක්ෂව දිනකට වැඩි ප්‍රමාණයක් බීම පානය කළ පුද්ගලයෙකුට (දිනකට මිලි ලීටර් 185 ක් පමණ) පිළිකා වැළදීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය.

එමෙන් ම පැහැදිලි කළ හැකි කරුණ වන්නේ සීනි සහිත බීම පිළිකා අවදානම ඉහළ දමන බවය.

නමුත්, විකල්පයක් ලෙස, වැඩිපුර ම සීනි පානය කරන පුද්ගලයින්ට වෙනත් සෞඛ්‍ය සම්පන්න නොවන හැසිරීම් රටා ද තිබිය හැකිය.

නිදසුනක් ලෙස ලුණු හා කැලරි වැඩි පරිභෝජනය ඔවුන්ගේ පිළිකා අවදානම ඉහළ නැංවීමට හේතු විය හැකිය.

එහිදී සීනි සහිත බීම පානය අදාළ නොවිය හැක.

“මෙම අධ්‍යයනය තුළින් සීනි සහ පිළිකා අතර පවතින සම්බන්ධය පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නේ නෑ. නමුත් වර්තමානයේ සීනී භාවිත කිරීම පාලනය කිරීමේ සමස්ත වැදගත්කම අවධානයට ලක්කර තිබෙනවා. අපගේ ආහාර වේලෙහි සීනි ප්‍රමාණය අඩු කිරීම අතිශයින් ම වැදගත්,” ටීසයිඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇමීලියා ලේක් පැවසීය.

මේ ඔක්කොම තරබාරු කම නිසා ද?

තරබාරුකම ඇතැම් පිළිකා සඳහා ප්‍රධාන හේතුවකි. අධික සීනි අඩංගු බීම පරිභෝජනය ශරීරයේ බර වැඩි වීමේ අවාසිය ද ඇති කරනු ලැබේ.

සිසිල් බීම සඳහා සීනි බදු අය කරන රටවල්

‘සීනි බද්දක්’ අය කරන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය ද සහයෝගය පළ කර තිබේ.

READ MORE:  Scientists have discovered how plants create networks of air channels

සීනි අඩංගු බීම වර්ගවල මිල සියයට විස්සකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම, පරිභෝජනය අඩු වීමට සහ ඇතැම් බීම වර්ගවල ‘පෝෂ්‍ය ගුණය’ වැඩි වීමට හේතු වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් ම වාර්තාවක දැක්වෙයි.

බ්‍රිතාන්‍යය, මෙක්සිකෝව සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් සීනි අඩංගු බීම නිෂ්පාදන මත බදු අය කරයි.

ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙන සීනි අඩංගු බීම එහි සාන්ද්‍රණය මත වර්ණ ගන්වා තිබේ .

ශ්‍රී ලංකාවේ සිසිල් බීම සඳහා වර්ණ සංකේත

1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සදහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වසරේදී පියවර ගනු ලැබීය.

ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයක ම මිලිලීටර් 100 ක් සදහා ග්‍රෑම් 11 කට වැඩි වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණයෙන් වර්ණ ගැන්විය යුතුය,

ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණය ද සඳහන් විය යුතුය.

මෙසේ වර්ණ සංකේතවත් කිරිම මගින් මහ ජනතාවට බීමවල සීනි මට්ටම් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව සුදුසු බීම වර්ග තෝරා ගත හැකිය.

එමගින් බෝ නොවන රෝග පාලනය කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ විය .

ශ්‍රී ලංකාවේ රස කැවිලි නිෂ්පාදනවලටත් වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව පවා දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බැවින් කේක්, දොදොල්, බූන්දි, බිස්කටි වර්ග ඇතුළු සියලු ම රස කැවිලි සඳහාත් වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය පවසා තිබිණ.

Source: BBC

READ MORE:  මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අදයි