අභ්‍යාවකාශයේ දී කළ බව පැවසෙන ‘පළමු අපරාධය ගැන නාසා ආයතනයෙන් විමර්ශනයක්’

World

Anne McClain
Anne McClain (gettyimages)

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගගනගාමිනියක් තමාගෙන් වෙන්ව සිටින සහකාරියගේ බැංකු ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් නාසා ආයතනය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එය අභ්‍යවකාශය තුළ දී අපරාධයක් සිදු කළ බවට චෝදනාවක් ලද පළමු අවස්ථාව විය හැක.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අදාළ බැංකු ගිණුමට ප්‍රවේශ වූ බව පිළිගන්නා නමුත් තමන් වරදක් නොකළ බව ඈන් මැක්ක්ලේන් සඳහන් කළේ යැයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඈන් මැක්ක්ලේන්ගෙන් වෙන්ව වෙසෙන ඇයගේ සහකාරිය, සමර් වෝර්ඩන් ඒ සම්බන්ධයෙන් ෆෙඩරල් වෙළෙඳ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

නීතිඥයෙකු හරහා ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඈන් මැක්ක්ලේන් පවසා ඇත්තේ තම පවුලේ මුල්‍ය තත්ත්වය නිසි ලෙස පවතින්නේද, වියදම් පියවීම සඳහා ප්‍රමාණවත් මුදල් තිබේද සහ වෙන්වීමට පෙර දෙදෙනා එක්ව බලා ගත්, සමර් වෝර්ඩන්ගේ පුතුට නිසි සැලකිල්ලක් ලැබේද යන කාරණා පිළිබඳ පමණක් පිරිකසා බැලීමට තමන්ට අවශ්‍ය වූ බවය.

“නුසුදුසු කිසිවක් නොකළ බව ඇය දැඩිව කියා සිටිනවා,” යනුවෙන් මැක්ක්ලේන්ගේ නීතිඥ රස්ටි හාඩින් පවසයි.

මැක්ක්ලේන් සහ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරිනියක් වන වෝඩන් 2014 වසරේදී විවාහ වී ඇති අතර වෝඩන් 2018 වසරේදී දික්කසාදය සඳහා නඩු පවරා ඇත.

නාසා ආයතනයේ විමර්ශන අංශයේ නිලධාරීන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් දෙදෙනාගෙන්ම කරුණු විමසා ඇතැයි ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරයි.

කීර්තිමත් හමුදා පාසලක් වන ‘වෙස්ට් පොයින්ට්’ හමුදා ඇකඩමියේ උපාධිධාරිනියක් වන මැක්ක්ලේන් හමුදා නියමුවෙකු වශයෙන් ඉරාක සටන් බිමේ ගත කර ඇති කාලය ගුවන් පැය 800 අධිකය.

පරීක්ෂණ නියමුවෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා යොමු වූ ඇය නාසා ආයතනය විසින් තෝරා ගනු ලැබ ඇත්තේ 2013 වසරේදීය.

ඇය මාස හයක කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගත කර තිබේ. එසේම කාන්තාවන්ගෙන් පමණක් සමන්විත පළමු අභ්‍යාවකාශ ගමනට ඇය පෙනී සිටීමට නියමිතව සිටි නමුත් නිවැරදි ප්‍රමාණයේ අභ්‍යාවකශ ඇඳුම් සම්බන්ධයෙන් පැවති ගැටලුවක් මත නාසා ආයතනය විසින් අවසන් මොහොතේදී ඇය ඉන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

READ MORE:  ISIS shift in strategy may threaten India, Sri Lanka, warns Indian intel

අභ්‍යාවකාශයේදී නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිමිකාරිත්වය දරන එක්සත් ජනපදය, රුසියාව, යුරෝපය, ජපානය සහ කැනඩාව යන රාජ්‍යයන් පහ එකඟ වී ඇති නෛතික රාමුවවට අනුව අභ්‍යවකාශය තුළ දී පුද්ගලයන් සහ දේපලවලට අදාළ වන්නේ ඔවුන් අයත් රටේ පවතින නීතියයි.

උදාහරණයක් වශයෙන් අභ්‍යාවකාශයේදී කැනේඩියානුවකු අපරාධයක් කළහොත් කැනඩාවේ පවතින නීතිය ද රුසියානුවකු එසේ කර ඇත්නම් රුසියාවේ පවතින නීතිය ද ඔවුන්ට වලංගු වනු ඇත.

ඉහත කී නීති රාමුව තුළ යුරෝපය එක් රාජ්‍යයක් වශයෙන් පවතින නමුත් අභ්‍යාවකාශය තුළ දී යුරෝපයට අයත් උපකරණයක් හෝ පුද්ගලයකු සම්බන්ධයෙන් ඒ ඒ රටවල නීතිය සහ නියාමන ක්‍රියාත්මක කිරීමට යුරෝපා සාමාජික රටවලට හැකියාව ඇත.

අභ්‍යාවකාශය තුළ සිදු වූ විෂමචාරයක් සම්බන්ධයෙන් යම් රටක් විසින් වෙනත් රටක පුරවැසියෙකුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීමට බලාපොරොත්තු වේ නම් ඔහු/ඇය පෘථිවිය වෙත නෙරපීමට අභ්‍යවකාශ නීතියෙන් ප්‍රතිපාදන ලබා දී ඇත.

අභ්‍යාවකාශ සංචාරක කර්මාන්තය යතාර්ථයක් වෙමින් තිබියදී අභ්‍යාවකාශ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පැන නැගිය හැක. එහෙත් තවමත් එම නීති රාමුව පරීක්ෂාවට ලක් වී නොමැත.

නාසා බලධාරීන් ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත්තේ තම දැනීමේ හැටියට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ අපරාධයක් සිදුව නොමැති බවය.

Source: BBC