ලංකාව අල්ලාගෙන සිටි විදේශිකයින් කතරගම ගැන කළ සටහන්

Features

කතරගම පුදබිම පිළිබඳව පුරාවෘත්තයන් රැසක් පවතී.

අප රට අල්ලා ගත් විජාතිකයින්ගේ වැඩි අවධානයක් කතරගම පුදබිම වෙත යොමු කර ඇති අතර ලක්දිව පාලනය කළ විජාතිකයින් විසින් කතරගම පුදබිම පිළිබඳව කළ සටහන් රැසක් ලේඛනවල සඳහන් වේ.

මේ අතර ලෙනාර්ඩ් වුල්ෆ් (එංගලන්ත ජාතික) විසින් කතරගම පිළිබඳව සටහන් රැසක් තබා ඇත.

කතරගම ඇසළ මංගල්‍යය නිසි ලෙස ගෞරවාන්විතව සිදු කළ විජාතිකයෙකු වූවා නම් ඒ ලෙනාර්ඩ් වුල්ෆ් මහතා පමණි.

1910දී කතරගම පෙරහැර අධීක්ෂණය කිරීමට පැමිණි පළාත් ඒජන්තවරයෙකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් විසින් තබන ලද සටහන්වල මෙසේ කතරගම පිළිබඳව සඳහන් කර ඇත.

1910දී කතරගම අති දුෂ්කර ප්‍රදේශයක් වූ නිසා කිසිදු ඒජන්තවරයෙකු මෙම පළාතට පැමිණීමට කැමැත්තක් නොදැක්වී ය.

තිස්සමහාරාමය වෙතට සැතපුම් 10ක් දුරින් පිහිටි කතරගම පුරවරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පමණක් නොව දකුණු ඉන්දියාවේ සිට ද බැතිමතුන් පැමිණි බව ද කියවේ.

හම්බන්තොට සිට කතරගම දක්වා ගමන් කරන මාර්ගයේ විශාල වනාන්තර වූ බැවින් පැමිණි බැතිමතුන්ට ආහාර ලබා ගැනීමට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.

මෙම වන්දනා නඩ අතර විවිධ වූ රෝග සුව කර ගැනීම සඳහා රැගෙන ආ රෝගීන් සිට ඇති අතර ඇතැම් අය අතරමගදී මිය ගිය බව සඳහන් වේ.

එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි වන්දනා බැතිමතුන්ට කොළරාව, වසූරිය වැනි දරුණු රෝගයන්ට මුහුණ දීමට සිදුව ඇත.

මේ හේතූන් මත ඉන්දියාවෙන් පැමිණෙන නඩ සඳහා නීති දැඩි කිරීමට ඉංග්‍රීසි රජයට සිදු විය.

1910 ජූලි 8 වන දින තිස්ස – කතරගම බලා පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ් ජූලි 22 වන දින තෙක් දින 14ක් එහි නවාතැන් ගෙන ඇත.

වන්දනාකරුවන් තුන්හාරදහසක් පැමිණ ඇති අතර 1910-1919 වන වකවානුවේදී කතරගම මහා වනය මැද පිහිටි පුංචි එළිමහනකට වඩා වැඩි තැනක් නොවූ බව ලෙනාර්ඩ් වුල්ෆ් පෙන්වා දෙයි.

මෙහි සුවිශේෂී වූ කරුණ වූයේ හින්දු කෝවිල වුවත් එහි ප්‍රධාන පාලකයා වූයේ සිංහලයන් වීම ය.

READ MORE:  Limos of world leaders: pictures, makes and models, details

එමෙන්ම අඩු කුලේ යැයි සම්මත වූ පුද්ගලයින්ට එම කෝවිලට ඇතුළු වීමට අවස්ථාන ලැබී නොමැත.

පෙරහැර පවත්වමින් කතරගම දෙවියන්ගේ භාර්යාවගේ හා කතරගම දෙවියන්ගේ පූජා ආභරණ වැඩමවා පෙරහැර සිදු කරන අයුරු දුටු බව ලෙනාර්ඩ් වුල්ෆ් සඳහන් කර ඇත.

මෙම කාල සීමාවේදී ලෙනාර්ඩ් අමිහිරි සිදු වීමක් පිළිබඳව සටහනක් තබා ඇත.

එය මෙසේ සඳහන් කරයි.

ලෙනාර්ඩ් වුල්ෆ් කතරගම පුදබිමේ ගත කළ ස්ථානයේ ජනේලයක් අසළ කුඩා දරුවෙකු නොනවත්වා වේදනාවෙන් හඬා වැටී තිබේ.

දැඩි වෙහෙස කර වූ රාජකාරී කිරීමෙන් අනතුරුව නිදාගත් ලෙනාර්ඩ්ට මෙම දරුවාගේ හැඬීම බාධාවක් විය.

පසුව තම සේවකයාට කතා කර දරුවා හැඬීම පිළිබඳව සොයා බලන ලෙස දන්වා ඇත.

මෙහිදී හෙළි වූයේ, ඉන්දියාවේ සිට පැමිණි යුවළක් තම අන්ධ දරුවාට පෙනීම ලබා දීම සඳහා දේව කන්නලව්වක් සිදු කර ඇති බව ය.

මෙහිදී දරුවා සුව නොවූ බැවින් ඉඳිකට්ටක් ගෙන දරුවාගේ ශරීරයට අනිමින් වේදනාවට පත් කර දරුවා හැඬවීම තුළින් දෙවියන්ගේ අවධානය යොමු කර ගැනීමට යොමුව ඇති බව ලෙනාර්ඩ් වුල්ෆ්ට දැන ගන්නට ලැබී ඇත.

මෙම සිදු වීම ලෙනාර්ඩ් වුල්ෆ් හට දරා ගන්න නොහැකි වූ සිදු වීමක් බව ඔහු සඳහන් කරයි.

පසු දින උදෑසන සිංහල වෛද්‍යවරයෙකුට පෙන්වා දරුවාට ප්‍රතිකාර කර සුව කර දීමට යොමු කර තිබේ.

මෙහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, මෙම අන්ධ දරුවා සුව කළ නොහැකි බව ය.

සති 2ක කාලයක් පුරා ශාරීරික පීඩාවන්ගෙන් යුත් හුදකලා සහිත වූ පරිසරයක කොටු වූ ලෙනාර්ඩ් වුල්ෆ්ට දකුණු ඉන්දියාවෙන් සහ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනයාට යටිතල පහසුකම් ලබා දීමත් ඔවුන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැයලු පිළිබඳ වගකීමත් පැවරී තිබිණි.

ඇසළ උත්සව සමයේ සවස් කාලයේදී තුවක්කුව රැගෙන තනියම කැළයට පිවිස මැණික් ගඟ දෙපස ඇවිදගෙන යාම ලෙනාර්ඩ් වුල්ෆ්ගේ පුරුද්දක් විය.

නීති විරෝධී මුවන් දඩයම් කරන්නන්, වියළි මස් මහා පරිමාණයෙන් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට ලෙනාර්ඩ් වුල්ෆ්ට හැකි විය.

READ MORE:  රටම බලා සිටි නාමල්ගේ පෙම්වතිය (Photos)

මීට අමතරව මැණික් ගඟ පිළිබඳව දැඩි අවධානයක් ලෙනාර්ඩ් වුල්ෆ් යොමු කළ බව සඳහන් වේ.

සියලුම ජල අවශ්‍යතාවන් සිදු කර ගත් මැණික් ගඟ පිරිසිදුව තබා ගැනීමට ලෙනාර්ඩ් වුල්ෆ් ක්‍රියා කරන ලදී.

ඇසළ මංගල්‍යය ආරම්භ වීමට පෙර ගඟේ අපිරිසිදු ජලය පිරි වළවල් පිරිසිදු කර මැසි මදුරු තෙල් ගැසීම සිදු කර ගඟට වැටී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කරන ලදී.

මීට අමතරව දෙවියන්ගේ පැන් ගන්නා තොටුපොළට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.

බැතිමතුන්ට පානීය ජලය ගැනීමට බැරල් පුරවා තිබූ අතර මැණික් ගඟට මුරකරුවන් යොදවා ගඟ සුරැකීමට ක්‍රියා කර තිබේ.

මැණික් ගඟේ ඉවුරේ මුත්‍රා කළ අයෙකුට රුපියල් 5ක දඩයක් ද ගං ඉවුර ආසන්නයේ වැසිකිළි කළ අයෙකුට රුපියල් 10ක දඩයක් ද නඩු අසා වැරදිකරුවන් වූවන්ගෙන් ලබා ගෙන තිබේ.

පෙරහැර පවත්වන සමයේදී පැමිණෙන අය දේවාලයට විශාල මුදලක් ලබා දීම සිදු කර තිබේ.

මෙසේ පැමිණි අයට පොල් අතු සෙවිළි කළ මඩු දේවාල ආසන්නයේ ඉදිකිරීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙහිදී පැමිණෙන බැතිමතුන්ගේ ආහාර, පානීය ජලය, වැසිකිළි පහසුකම් පිළිබඳව ලෙනාර්ඩ් වුල්ෆ් අවධානය යොමු කරනු ලැබුවේ නිව්මෝනියාව, මැලේරියාව, පාචනය වැනි රෝගවලින් බේරා ගැනීමේ අරමුණිනි.

කතරගම ඇසළ පෙරහැරට පැමිණි බැතිමතුන් වෙනුවෙන් එක් දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු සිට ඇති අතර නීතිය හා සාමය රැකීමට ගම්මුලාදෑනියෙකු රාජකාරී සඳහා පත් කළ බව ලෙනාර්ඩ් වුල්ෆ් සඳහන් කර තිබේ.

උපුටා ගැනීම – ලංකාදීප