ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්

Features, Sports

Chris Gayle
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දී පළමු පන්දුවට පළමු හයේ පහර එල්ල කරන ලද පළමුවැන්නා- ක්‍රිස් ගේල් .

ක්‍රිස් ගේල්. එනම් තැනැත්තා ඔබට පළමුවරට හමුවුනොත් ඔබ ඔහුගෙන් නියත දේවල් බලාපොරොත්තු වනු ඇත. ආකර්ශනීය පුද්ගලයෙක් (Flamboyance). පාන්දර වෙනතෙක් රස කතන්දර කියන්නෙක්. තහංචි නොතකා කටයුතු කරන්නෙක්.

ක්‍රිස් ගේල් සමග කෙනෙකුට ගත කරන්නට ලැබෙන කාලය ඔහුට හොඳම කාල පරාශයක් වනු ඇත. ඇතැම් අවුල් ඇති වුනත් එය ඉවත දැමිය නොහැකි කාලයකි. ”විශ්වයේ මිනිසා” (Universe Boss) හැටියට ඔහු තමා විසින් තමාම හඳුන්වා ගන්නා නමුත්, හේ නිතරම ලජ්ජාශීලී චරිතයකි. අසීමිත ශක්තිය යොදා එල්ල කරනු ලබන ප්‍රහාර මගින් වාර්තා බිඳ හෙලූ මේ ක්‍රිකට් ක්‍රීඩකයා හැදී වැඩුනේ සාම්ප්‍රදායික සමාජ වටාපිටාවක් තුළය.

ලබන සැප්තැම්බර් මාසයේ දී ඔහු වයස අවුරුදු හතළිහ සම්පූර්ණ කරයි.

එහෙත් තමා දිගටම ක්‍රීඩා පිටියේ රැඳී සිටින බව ක්‍රිස් ගේල් පසුගියදා ප්‍රකාශ කළේය.

ඇතැම්විට ඔහු යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීත් දකින්නට ලැබෙනු ඇත.

යම් හෙයකින් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට මේ දැවැන්තයා දවසක තීන්දු කළොත්, ඔහු සමු ගන්නේ තමා විසින් බිඳ හෙලන ලද වාර්තා,තම පිති හරඹය හමුවේ ක්‍රීඩාගාර වීදුරු කවුළු සුණු විසුණු වී ගිය දසුන් ඇතුලත් මකා දැමිය නොහැකි මතක සටහන් රාශියක් ක්‍රීඩා ලෝකයට ඉතිරි කරමිනි.

Chris Gayle
ක්‍රිස් ගේල් හැදී වැඩුන මේ නිවස අදත් මෙයාකාරයෙන්ම දක්නට ලැබෙයි

සිය නිවසේ පාත මාලයේ සරාගී රැඟුම් සඳහා වූ ආපන ශාලාවක් මෙන්ම සිය මව්බිම වන ජැමෙයිකා දිවයිනේ දුප්පත්කමෙන් බැටකන දරුවන් වෙනුවෙන් සමාජසේවා පදනමක් ආරම්භ කළ ක්‍රිස් ගේල් සම්බන්ධයෙන් අදහසක් නොමැත්තේ ඉතාම අතළොස්සකට පමණි.

ක්‍රිස් ගේල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දක්වන ලද ප්‍රාතිහාර්යයන් ඇදහිය නොහැකි මට්ටමේ විශ්මිත ඒවා වෙති.

ටෙස්ට් ක්‍රිකට් තරඟයක දී පළමු පන්දුවට පළමු හයේ පහර එල්ල කළ පළමු මිනිසා ඔහුය; ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගයක දී ලකුණු දෙසීයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයාත් ඔහුය.

එසේම ටෙස්ට් ශතක තුනක්, සීමිත ඕවර් තරගයක ලකුණු දෙසීයක් සහ විස්සයි විස්ස තරගයක ලකුණු සියයක් යන වාර්තා තුනටම හිමිකම් කියන එකම ක්‍රීඩකයා ලෙසත් ඔහු තවමත් අප අතර රැඳී සිටියි.

‘විස්සයි විස්ස’ තරග වලදී එල්ල කෙරුණ හයේ පහරවලින් තුනෙන් එකකටම ක්‍රිස් ගේල් හිමිකම් කියයි.

ආරම්භයේ පටන් ම ඉන්දියානු IPL තරගාවලියට සහභාගි වෙන ක්‍රිස් ගේල්, ඉන් එක් තරගයක එක් ඕවරයක දී ලකුණු 37 ක් වාර්තා කළේය.

Chris Gayle
කන්ද පාමුල නගරයේ ප්‍රචණ්ඩ ගැටුම් මගින් හෝ දූවිල්ලේ පීඩාව දැන් ඔහුට නොදැනෙයි.

ක්‍රිස් ගේල් ගැන මෙතෙක් කී කතා ක්‍රීඩා ලෝකයේ සුපතළ කරුණු වෙති. ක්‍රිකට් ළකුණු පුවරුවේ එකී සංඛ්‍යා පිටුපස සිටින ඒ දැවැන්තයා මතුපිටට පැමිණීමට දීර්ඝ කාලයක් ගත්තේය.

ඔහුගේ ජීවන ශෛලිය සහ හැසිරීම සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට ආවේණික විනිශ්චයන් පවතී.

එහෙත් යමෙකුට ඔහු තේරුම් ගැනීමට නම් ‘ඔහුගේ ඇසින් ඔහු දෙස බැලීමට’ සිදුවනු ඇත.

හේතුව, අද දවසේ ඔහු කවුරුන්ද යන්න එමගින් කියැවෙන හෙයිනි.

රෝලින්ටන් ටවුමේ කොලුගැටයා

‘ජැමෙයිකාවේ කිංස්ටන් අගනුවර නැගෙනහිර කොටසේ පිහිටි ‘රෝලින්ටන් ටවුම’ ක්‍රිස් ගේල් ඉපිද හැදී වැඩුන ඔහුගේ ජන්ම භූමියයි.

READ MORE:  ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට

මුහුදු වෙරළෙන් සැතැපුම් භාගයක් පමණ ඈතින් පිහිටි රෝලින්ටන් නගරයේ බටහිර දෙසින් සැතපුමක් පමණ ඈතින් ‘සබිනා පාක්’ (Sabina Park) ක්‍රිකට් ක්‍රීඩාංගනය පිහිටා ඇත.’ සබිනා පාක්’ (Sabina Park) සිට ලන්ඩනයේ ‘ලෝර්ඩ්ස්’ ක්‍රිකට් ක්‍රීඩාංගනය කරා ඇත්තේ දිගු ගමනකි.

ක්‍රිස් ඉපිද හැදී වැඩුන ගෙපැල එදා මෙන්ම අදත් එයාකාරයෙන්ම දැකගත හැකිය. තනි තට්ටුවේ එම ගෙය සදා ඇත්තේ සිමෙන්ති ගඩොල් සහ ලෑලි යොදා ගනිමිනි. නිවසේ කවුළු ආවරණය කෙරෙන රෙදි සුළඟේ සැලෙයි. වහලය ආවරණය කෙරෙන්නේ ටින්කොල මගිනි. එම නිවස පවුල් තුනක් සඳහා කොටස් තුනකට බෙදා තිබුණ අතර ඉන් එකක් ගේල් පවුල සඳහා විය.

එම නිවසේ ගේල් පවුලට ලැබුණ කොටසෙහි කාමර දෙකකි. එක කාමරයක් දෙමව්පියන්ට වෙන් කෙරුණ අතර අල්ලපු කාමරයේ වූ එකක් එක පුද්ගලයකුට පමණක් සෑහෙන කුඩා ඇඳන් දෙක දරුවන් පස් දෙනකු අතර බෙදා හදා ගැනීමට සිදු විය.

ඉන් එක ඇඳක් පවුලේ එකම සොහොයුරිය වූ මිෂෙල් සඳහා වෙන් කෙරුණ අතර, ඉතිරි ඇඳ අල්ලා ගැනීමට සහෝදරයන් හතරදෙනා අතර වූ රණ්ඩු සරුවල් පොර බැදීම් හැමදාමත් සිදු වූ දේවල් විය.

ගේල් පවුලේ දවස ආරම්භ වන්නේ උදැසන කුකුළන් හඬ ලෑමත්, අල්ලපු වත්තේ හුණු පෝරණුවේ හුණු අඹරන මැෂිමේ කර කර ශබ්දයත් සමඟිනි.

ඊ ලඟට ඇසෙන්නේ අසල්වැසි නිවෙස්වල කොල්ලන් විසින් එල්ල කරනු ලබන බෝල පහර වැදීමෙන් zinc තහඩු බිත්තිවලින් නැගෙන ශබ්දයයි.

රෝලින්ටන් ටවුමේ හැම කොල්ලකුගේම පුරුද්ද හැම තිස්සේම ක්‍රිකට් ගැසීමයි. ඔවුන්ගේ විකට්ටුව බිත්තියේ අඳින ලද රූපයකි.

ක්‍රිකට් පිත්ත උණ ලීයෙන් තනාගත් එකකි.

Chris Gayle in his young age
වසර දහනවයකට පෙර ටෙස්ට් වරම් ලද යොවුන් ක්‍රිස් ගේල් (Getty)

උදේ පාසල් යාමට පෙරත්, පාසල් ඇරීමෙන් පසුවත්, පාසල් වැඩ වෙනුවටත්, ලැබෙන හැම මොහොතකමත් ඔවුන්ගේ සෙල්ලම ක්‍රිකට් ගැසීමයි.

නිතරම මෙන් අතීතය මෙනෙහි කරන්නකු වන ක්‍රිස් ගේල් ‘තමා වාසනාවන්තයකු’ යයි තවමත් සිතයි.

හරියටම ඔහුගේ නිවසට විරුද්ධ දිශාවෙන් පියවර පහක් පමණ ඈතින් තනා ඇති ගැටිති සහිත කොන්ක්‍රීට් පාර අයිනේ ඉදි කෙරුණ වැටෙහි වෙනත් ලෝකයකට පාර කියන කුඩා කපොල්ලකි. එම කපොල්ලෙන් රිංගා යා හැකි අලුත් ලෝකය ‘ලූකාස් ක්‍රිකට් සමාජයයි’.

ජැමෙයිකාවේ දුප්පත් කල්ලන්ට සියවසක් පැරණි ලූකාස් ක්‍රිකට් සමාජයේ දී පාලක සුද්දන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි විය.

ලූකාස් තණතිල්ල

‘ලූකාස්’ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගේට්ටුවලින් ඇතුල් වන්නකුට එකවරම එහි විශේෂ වූ කිසිවක් නොපෙනෙයි. ළකුණු පුවරුව පින්තාරු කළ යුතු මට්ටමේ පවතී. ක්‍රීඩාගාරය වටා යකඩින් ඉදි කෙරුණ ආරක්ෂක වැටකි. පිට්ටනියේ තණකොලට වඩා දකින්නට ලැබෙන්නේ දූවිලිවලින් වැසුන කලාපයන්ය. තණතිල්ල පවා දුඹුරු මඩවලින් ගහන වෙයි.

ඒ අතරම පුහුණු වෙන ස්ථානයන්හි මෑතදී සවි කරන ලද දැල් (nets)දක්නට ලැබෙයි.

‘ලූකාස්’ ක්‍රිකට් ක්‍රීඩාංගනය බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ස්ථානයකි. යුද්ධ දෙක අතර කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු වූ ජෝර්ජ් හෙඩ්ලි(George Headley) සිය ක්‍රීඩා කෞශල්‍යය ඔපවත් කර ගන්නා ලද්දේ ‘ලූකාස්’ ක්‍රීඩාංගණයෙනි.

Chris Gayle World Cup 2019
2019 ලෝක ශූරතා තරඟාවලියේ දී අමිහිරි දැවී යාමකින් පසු ක්‍රීඩාගාරයට (Gerry)

ජැමෙයිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු කළු ජාතික නායකයා වූ ෆ්‍රෑන්ක් වොරෙල් (Frank Worrell) බිහි වන්නේත් ‘ලූකාස්’ ක්‍රීඩාංගණයෙනි.

READ MORE:  ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි...

විශේෂයෙන්ම එය ක්‍රිස් ගේල්ට සුවිශේෂී ස්ථානයක් විය. ක්‍රිස් ගේල් නමැති අනාගත ක්‍රිකට් දැවැන්තයාගේ ජය භූමිය සහ ඔහු ලෝකයට පිවිසීම සිදුවන්නේ ‘ලූකාස්’ ක්‍රීඩාංගනය ඔස්සේය.

පිට්ටනියේ තැනින් තැන සෙල්ලමේ යෙදීම, ක්‍රීඩාගාරයේ කොන්ක්‍රීට් වේදිකා මත කෙරෙන සෙල්ලමේ දී හොකි ක්‍රීඩාවේ දී යොදා ගනු ලබන බෝල මගින් එල්ල වෙන “පන්දුවලට” මුහුණ දීම ඔවුන්ගේ ක්‍රීඩාවයි.

පරණ සපත්තු මේස් එකක මාපට ඇඟිල්ල සඳහා වන ස්ථානයට බෝලයක් ඇතුල් කොට අනිත් කොණ ගසක අත්තක ගැට ගසමින් ක්‍රීඩා පිටියේ කිසිවකු නොමැති අවස්ථාවන්හි පුහුණුවීමත් ඊට ඇතුළත් තවත් අංගයකි.

ටෙස්ට් වරමින් ලෝකයේ දොරට

ක්‍රිස් ගේල් ටෙස්ට් වරම් ලබන්නේ 2000 වසරේදීය.

‘ක්‍රිස්’ යනු ගේල් පවුලේ අසාමාන්‍ය කුසලතා සහිත එකම තැනැත්තා නොවේ. එම කරුණ අතින් ඔහුගේ සොහොයුරු මයිකල් ද ගෞරවයට උරුමකම් කියයි.

මයිකල් ක්‍රීඩාවට පෙරදින සවස සිය ක්‍රිකට් ආම්පන්න ‘ලූකාස්’ ක්‍රීඩාංගනයේ තබා යන්නේ සිය නිශාචර ජීවිතයෙන් පසු කෙළින්ම ක්‍රීඩාංගනයට පැමිණීමේ පහසුව සලකා ගෙනය.

මයිකල්ට ක්‍රිස් ගේල්ගේ සහයෝගය හිමි වූ අතර, ප්‍රතිවාදීන් සහ කෝපයට පත් තරග විනිසුරන් නිහඬ කිරීමේ ‘කටක්’ ඔහුට උරුම විය.

එහෙත් ඔහුගේම වැරදි හේතුවෙන් සිය බාල සහෝදරයා මෙන් පෙරට යාමට තිබුණ අවස්ථාව මයිකල්ට අහිමි විය. එහෙත් ‘ක්‍රිස්’ සතුව පැවති විනයගරුක හැසිරීම සහ අනවරතයෙන් පුහුණු වීමේ නිරත වීමෙන් ඔහුට පෙරමග විවෘත විය.

Chris Gayle
Image captionඔහු යලිත් ටෙස්ට් පිටියට පිවිසෙනු ඇතැයි අදහස් පළ වෙමින් ඇත

ක්‍රිස් ගේල් මේවනවිට කිංස්ටන් අගනුවරට ඉහළින් ඇති කඳුකරයේ තැනවූ මහා ප්‍රාසාදයක කල් ගෙවයි.

කන්ද පාමුල නගරයේ ප්‍රචණ්ඩ ගැටුම් මගින් හෝ දූවිල්ලේ පීඩාව දැන් ඔහුට නොදැනෙයි.

ඔහු සිය මව, සිය සහෝදරිය සහ මයිකල් අයියා වෙනුවෙන් නගරයේ හොඳම කලාපයන්හි නිවාස මිලට ගෙන දී ඇත.

ක්‍රිස් තම ප්‍රාසාදයෙහි ඉදිරිපස කොටසේ සුවිසල් සුව පහසු කාමරයක් සිය පියා ‘ඩඩ්ලි’ වෙනුවෙන් වෙන්කර ඇත. එම කුටියේ බිත්තියේ සවි කෙරුණ සුවිසල් රූපවාහිනී තිරය ඔස්සේ ඩඩ්ලි ලොව පුරා පුවත් මගින් දැනුවත් වෙයි.

සිය පැරණි අසල්වාසීන්ගේ තොරතුරු විපරම් කිරීමේ අටියෙන් තමන් කලින් ජීවත් වූ ගේදොර පිහිටි කලාපයේ ඇවිදීමට යාම ඩඩ්ලිගේ පුරුද්දකි.

මයිකල් පුරුදු පරිදි තවමත් ‘රම්’ බීම තැබෑරුම්වල ගැවසෙයි. ඔහුගේ වියහියදම් පියවනු ලබන්නේ ක්‍රිස් විසිනි.

ක්‍රිස් ගේල් සිය ක්‍රිකට් ක්‍රීඩා කුසලතාව මුදලට විකුණයි. ක්‍රිකට් ක්‍රීඩකයන් මිලට ගනු ලබන තරගකාරී ආයතනවලට ඔහු මේ යුගයේ රජෙකි.

තම අතීත ජීවිතයේ සිදුවීම්, දිනුම් සහ පැරදුම් ඇතුළත් පාසල් සහ ක්‍රීඩා සමාජමය ක්‍රිකට් තරඟ ගැන කතාබහින් කාලය ගෙවීම පිණිස ක්‍රිස්ගේ ළමා වියේ මිතුරෝ ඔහුගේ නිවස කරා පැමිණෙති.

READ MORE:  "මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ" - ලසිත් මාලිංග

ක්‍රිස් ගේල් අධ්‍යාපනය ලද ද්විතීයික පාසලේ ගුරුවරයකු මෙන්ම ඔවුන්ගේ ක්‍රිකට් පුහුණුකරුවකු වූ පෝල් මැකලම් ද (Paul McCallum)ඔවුන් අතර දැකගත හැකිය.

ක්‍රිකට් පුහුණු සැසි නිමාවේ දිවා ආහාරය සඳහා මෙන්ම ආපසු නිවෙස් බලා යාමටත් පෝල්ගෙන් කොල්ලන්ට ණයට මුදල් ලැබුණි.

ක්‍රිස් ගේල් වැඩි දෙනකු කෙරෙහි විශ්වාසය නොතබයි. බොහෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් ක්‍රිස් ගේල් ද අවිචාරශීලී පාලක මණ්ඩලවල සහ මුදල් පිටුපස හඹා යන රැවටිලිකාර ඒජන්තයන්ගේ ගොදුරක් වූ අවස්ථා ඇත.

පුද්ගලයකු ‘ලෝකයේ ලොක්කා’ (World Boss) ලෙස නම් කරනු ලැබීමට නම් ඒ සඳහා කිසියම් පසුබිමක් පැවතිය යුතු අතර, යමෙකු විශ්වීය තත්වයෙන් උත්කර්ෂවත් තැනකට නංවාලීමට ඊටත් වැඩි යමක් විය යුතුය. ක්‍රිස් ගේල් එම තත්වය ස්පර්ශ කරන්නේ දැනටමත් ඔහු අන්‍යයන්ට වඩා ඉදිරි පියවර තබා ඇති හෙයිනි.

අපකීර්තිමත් නමක් සහිත ජැමෙයිකානු නෘත්‍යශාලා කලාකරු විබ්ස් කාර්ටල් (Vybz Kartel) තමා සංගීත ලෝකයේ රජු හැටියට ඔහු විසින්ම හඳුන්වා ගනී. ජැමෙයිකානු ධාවන ශූර උසේන් බෝල්ට් මලල ක්‍රීඩා ලොව දැවැන්තයා වෙයි. ක්‍රිස් ගේල් පොහොසත් කළ පරමාදර්ශය වුණේ විවියන් රිචර්ඩ්ස්ගේ නිර්භීත පිති හරඹයයි.

Lukas Cricket Ground
දැවැන්තයකු ක්‍රිකට් අත්පොත් තැබූ මඩ සහ දූවිඋල්ලෙන් යුතු ‘ලූකාස්’ ක්‍රිකට් ක්‍රීඩාංගනය

ක්‍රිස් ගේල්, විවියන් රිචර්ඩ්ස් ද ඇතුළුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ සියල්ලන් අභිභවා යමින් එක්දින තරගවල දී වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා වෙයි.

‘විස්සයි විස්ස’ තරගයක දී ඔහු ඉන්දීය ‘රෝයල් බැංගලෝර් චැලෙන්ජර්ස්’ කණ්ඩායම වෙනුවෙන් අනභිභවනීය ලකුණු 175 ක් නොදැවී වාර්තා කර ඇත.

එය ‘විස්සයි විස්ස’ තරගයක දී වාර්තා කෙරුණ ඉහළම ළකුණු සංඛ්‍යාවයි.

මෙයින් වසර දහනවයකට පෙර කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් වරම ලද ක්‍රිස් ගේල්,පළමු තරගයේ දී ළකුණු 33කට දැවී යාමෙන් අනතුරුව ඒ පිළිබඳ ශෝකයෙන් පැය කීපයක් ම හඬා වැලපුනේය.

ක්‍රිස් ගේල්, බ්‍රයන් ලාරාටත් වැඩියෙන් ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කර ඇත. ඉයන් බොතම්ටත් වඩා ටෙස්ට් තරඟ ක්‍රීඩාකර ඇත. ටෙස්ට් ක්‍රිකට් තරගවල දී ක්ලයිව් ලොයිඩ්ටත් වැඩියෙන් උඩ පන්දු රැකගෙන ඇත.

(ක්‍රීඩා පිළිබඳ බීබීසී ප්‍රධාන ලේඛක ටොම් ෆෝර්ඩිස්ගේ (Tom Fordyce) ලිපියක් ඇසුරෙනි.)