මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි – රවී කරුණනායක

Local

Ravi Karunanayake
Ravi Karunanayake

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පරිනත දේශපාලඥයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණනායක ඊයේ(21) ප්‍රකාශ කළා. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්තාවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතු බවත්, අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙකු එ.ජා.ප. යෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන බවත්ය.

එහිදී මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළා.

“වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි.අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද.

මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි.

නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ”

– අමාත්‍ය රවී කරුණනායක

READ MORE:  පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි