අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

Local

United States Embassy Colombo
United States Embassy Colombo

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු පවසා තිබේ.

ඒ, අදාළ ගිවිසුම පිළිබඳව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඩේලි මිරර් අද වාර්තා කළ ආකාරයට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා ලැබිය හැකි ප්‍රතිවිපාක යනුවෙන් පෙන්වා දී ඇත්තේ, එම්.සී.සී. හරහා ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබී යාම හෝ තාවකාලිකව අත්හිටුවීම ය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම හරහා ඉඩම් අයිතීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හා පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ ඉඩම්වල කුලී ලබා ගෙන රජයේ ආදායම් ඉහළ දමා ගැනීමට හැකියාව පවතින බව ද තානාපති කාර්යාල නිලධාරියා පුවත්පතට පවසා තිබේ.

අදාළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකානු තානාපති නිලධාරියා පවසා ඇත්තේ, මේ හරහා අමෙරිකාව ඉඩම් අයිති කර ගැනීමක් සිදු නොකරන බව ය.

ශ්‍රී ලංකා රජයට ඉඩම් පිළිබඳව සොයා බැලීමේ හා පාලනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු ඩේලි මිරර් පුවත්පත සමග වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බව ය.

ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවත් තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයේ සඳහන් ය.


READ MORE:  මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ