ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්

Sports

India vs Afghanistan ICC world Cup 2019
India vs Afghanistan ICC world cup 2019

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන් හිදී නිමාවට පත්විය. එහි දී ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූයේ අවමන් සහගත පරාජයකින් සිය කණ්ඩායම බේරා ගනිමිනි.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියානු නායක කෝලි පළමුව පහර දීමට තීරණය කළ අතර ආබාධයකට ලක් වූ බුවනේෂ්වර් කුමාර්ගේ ස්ථානයට මොහොමඩ් ශාමි කැඳවා තිබුණි.

ඉන්දියානු ආරම්භක පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණින් පිටියට පිවිසිය ද ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 224කට රඳවා ගැනීමට සමත් වූයේ සියලු ක්‍රීඩාලෝලීන් මවිතයට පත් කරමිනි.

ඇෆ්ගනීස්තානය දඟපන්දු යවන ක්‍රීඩක මුජීබ් රහමන්ගෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර රෝහිත් ශර්මා මුජීබ්ගේ පන්දුවකට දැවී ගියේ එක් ලකුණක් ලබා සිටිය දී ය.

ඉන්පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් ඉන්දියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවා තබමිනි.

ලොකේෂ් රාහුල් මොහොමඩ් නබී හමුවේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 30කට දැවී ගිය අතර විජේ ශන්කර් ලකුණු 29ක් ලබා සිටිය දී දවා ගැනීමට රහමට් ෂා සමත් විය.

යළි ක්‍රියාත්මක වූ මොහොමඩ් නබී ඉන්දියානු ලකුණු පුවරුව ලකුණු 134ක්ව තිබිය දී ලකුණු 67ක් ලබා සිටි විරාත් කෝලි දවා ගැනීමට සමත් වූයේ ඉන්දියානු පිලට නැවටත් පීඩනයක් යොමු කරමිනි.

කේදර් ජාදව් පන්දු 68ක දී ලබා ගත් ලකුණු 53 හේතුවෙන් ඉන්දියානු ලකුණු පුවරුව ලකුණු 224ක් දක්වා ඉහළ දැමීමට හැකි වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඇෆ්ගන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී හා නායක ගුලාබ්ඩීන් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජීබ් රහමන් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 26ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේ ඉන්දීය පිතිකරු බල ඇණිය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමිනි.

READ MORE:  2019 ක්‍රිකට් ලෝක ශුරයන් එංගලන්තය ද නවසීලන්තය ද ?

ලකුණු 225ක ඓතිහාසික ජයග්‍රහණයක බලාපොරොත්තු සමඟින් පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යෑමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණි.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටුණු අතර ඉන්පසු නායක ගුලාබ්ඩින් නයිබ් හා රහමට් ෂා පිළිවෙළින් ලකුණු 27ක් හා 36ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතේ රඳවා ගැනීමට උත්සහ කළහ. නමුත් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවතීම ලබා ගත යුතු ව තිබූ ඉලක්කය තව තවත් අසීරු කළේය.

පාන්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ නයිබ් දැවී ගිය අතර තරගයේ 29 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ බුම්රා එම පන්දු වාරය තුළ දී රහමට් ෂා හා හෂ්මතුල්ලා ශහීඩි දවා ගත්තේ ඇෆ්ගන් ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 106ක් බවට පත් කරමින් ඉන්දීය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබා දෙමිනි.

අස්ගර් ඇෆ්ගන් ද ලකුණු 8කට දැවී ගිය පසු ඇෆ්ගනිස්තානයේ සියලු බලාපොරොත්තු පිටියේ රැඳී සිටි මොහොමඩ් නබීගේ කර මත පැටවිනි.

නජිබුල්ලා සඩ්රාන් හා රෂීඩ් කාන් පිළිවෙළින් ලකුණු 21ක් හා ලකුණු 14ක් ලබා ගනිමින් නබී වෙත හොඳ සහයෝගයක් ලබා දුන්න ද ඔවුන්ගේ දැවී යාමෙන් පසු අගපෙළ පිතිකරුවන් ද ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කිරීමට නබීට සිදු විය.

ඇෆ්ගනිස්තානයට අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් ඉලක්කයක් හිමි වූ අතර මොහොමඩ් ශාමි ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම ලකුණු 4ක් ලබා ගැනීමට නබී සමත් වූයේ යළි තරගය දෙපිළට ම විවෘත කරවමිනි.

තෙවන පන්දුවේ දී නබී දවා ගත් ශාමි අනෙක් පන්දු දෙකේ දී අවසන් පිතිකරුවන් දෙදෙනා ද දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් සමඟින් ඉන්දීය කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

පන්දු යැවීමේ දී ශාමිට කඩුලු 4ක් හිමි වූ අතර බුම්රා, පාන්ඩ්‍යා සහ චාහල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ජාස්ප්‍රිට් බුම්රා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන ලදී.

READ MORE:  Rihanna Went To A World Cup Cricket Match In Durham