මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී

Sports

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්තය මීට සුළු වේලාවකට පෙර සමත් විය.

ඒ, සුපිරි පන්දු වාරයේදී නවසීලන්තය පරදවමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි.

නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නිකොල්ස් පන්දු 77කදී ලකුණු 55ක් රැස් කළේ ය.

ටොම් ලැතම් ලකුණු 47යි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස් හා පියම් ප්ලන්කෙට් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 242ක ඉලක්කයක් හිමි වූ නමුත් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී එංගලන්ත ක්‍රීඩකයෝ තරගය සම කළහ.

ඒ අනුව සුපිරි පන්දුවාරයක් කණ්ඩායම් දෙකටම හිමි වූ අතර එම පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 15ක් රැස් කළේ ය.

ලකුණු 16ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී තවත් ලකුණු 2ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර එය ලබා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය.

ඒ අනුව 2019 ලෝක ක්‍රිකට් කිරුළේ ජය එංගලන්ත කණ්ඩායම දිනා ගත්තේ ය.

එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 84ක් රැස් කළේ ය.

ජෝස් බට්ලර් ලකුණු 59ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ලොකී ෆර්ගියුසන් හා ජේම්ස් නීශාම් අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ.

එංගලන්තය ලෝක කුසලානයක් ජය ගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

1979, 1987 සහ 1992 වසරවලදී එංගලන්තය එක්දින ලෝක කුසලාන අවසන් තරගය සඳහා සහභාගී වූවද ඔවුන් එම සියලු තරග පරාජයට පත් විය.

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ඉකුත් වසර 44ක කාලය තුළ කිසිදු අවස්ථාවක ලෝක කුසලානයක් දිනාගෙන නොතිබිණි.

වැඩිම අවස්ථා ගණනකදී අනුශූරතාවෙන් නැවතුණු ඔවුන් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ ද වසර 27කට පසුව ය.


READ MORE:  "නුවන් කුලසේකර, මංනම් දැකල නැහැ එයා සංචිතයකවත්. එයා තාම ඉන්නවද?" - තේරිම් කමිටු සභාපති