නුවන් තුෂාර: බංග්ලාදේශ් තරග බිමේ අත්හදා බැලෙන “පොඩි මාලිංග”

Sports

Nuwan Thushara
Nuwan Thushara

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංගලාදේශයේ සංචාරයක යෙදී සිටිති. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකාර ධුරය දරන මෙම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටින තරුණ ක්‍රීඩකයන් රැසකි. මේ අතරින් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ “පොඩි මාලිංග” ලෙස හැඳින්වෙන නුවන් තුෂාර දෙසට ය.

The story of Nuwan Thushara – Podi Malinga

සුපිරි ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර ගැන මුලින්ම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුවූයේ මීට වසර දෙකකට පමණ ඉහතදීය.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග පුහුණුවීම් සඳහා පළමු වරට නුවන් තුෂාර පැමිණීමත් සමගිනි. ලසිත් මාලිංග තම ක්‍රිකට් දිවියේ අවසානයට ළඟාවී ඇති අවස්ථාවක ලසිත් මාලිංග මෙන් පන්දු යවන තවත් ක්‍රීඩකයෙකු ගැන අසන්නට ලැබීම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු කරන්නක් වුවාට සැක නැත.

එතැන් පටන් පුහුණුවීම්වල යෙදුනු නුවන් තුශාර පළමු වරට ජාත්‍යන්තර ශ්‍රී ලංකා සංචිතයකට ඇතුළත් වූයේ මෙවර ශ්‍රී ලංකා නැගී එන පිළේ බංගලාදේශ සංචාරය සඳහාය. එහි එක්දින තරග සඳහා ක්‍රීඩා කරන නුවන් තුෂාර තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ලකුණු 21ට කඩුලු දෙකක් බිඳ දමා දස්කම් දැක්වීය.

  • සම්පුර්ණ නම – ඉලන්දාරි දේවගේ නුවන් තුෂාර
  • වයස – 25
  • ගම – ඇල්පිටිය
  • පාසල – කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය
  • නියෝජනය කළ කණ්ඩායම් – SSC ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රීඩා සමාජය

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු තම ක්‍රිකට් දිවිය අමතක කර වායුසමන යන්ත්‍ර අලුත්වැඩියා පාඨමාලාවක් හදාරමින් සිටි නුවන් තුෂාරට යළි ක්‍රිකට් දිවියට පිවිසීමේ පිවිසීමේ මං විවර විය.

“මාව දැකපු අම්බලන්ගොඩ අයිය කෙනෙක්. මට අනුෂ සමරනායක සර්ගේ (හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන පුහුණුකරු) අංකය දීලා මට කොළඹ එන්න කිව්වා. මම කොළඹ ආවම මට අනුෂ සර් පන්දු යවන්න කිව්වා. මම දාගෙන හිටියේ සාමාන්‍ය සපත්තු දෙකක්. ටර්ෆ් විකට් එකක බුට් සපත්තු දාන්න ඕනේ කියලාවත් මම දන්නේ නැහැ. මම පන්දු දාපුවාම එතනම මාව වැටුනා. ඊට පස්සේ මට එතනදීම බුට් සපත්තු දෙකක් දුන්නා ” නුවන් තුෂාර සිය ආරම්භය මතකයට නැගීය.

READ MORE:  "සංගාගේ වචන අපිව දිරිමත් කළා" - ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

නුවන් තුෂාර ලසිත් මාලිංග අනුකරණය කළා දැයි බොහෝදෙනා ඔහුගෙන් අසන ප්‍රශ්නයක්. ඒ ඔහුගේ පන්දු යැවීමේ විලාසය ලසිත් මාලිංගට සමාන වීම හේතුවෙනි.

“ඉස්සර අපේ ගමේ සැහැල්ලු පන්දු කණ්ඩායමට ලොකු කට්ටිය අපිව ගන්නේ නැහැ. ඉතින් මම පිට්ටනියේ තනියෙන්ම විකට් කුරක් ඉන්දවගෙන මම පන්දු යවන්න ගත්තා. හයියෙන් බෝල දාන්න ඕන වුනා. සැහැල්ලු පන්දුවෙන් යෝකර් පන්දු යවන්න ගත් උත්සාහය නිසා අත පැත්තෙන් ගියා. හයියෙන් දාන්න ගත්තට පස්සේ මාලිංග අයිය වගේ දාන්න පටන් ගත්තේ” ඔහු කියා සිටියේය.

ලසිත් මාලිංගගේ ද ගුරුහුරුකම් මැද්දේ පුහුණුවීම් වල යෙදෙන නුවන් තුෂාර තම වේග පන්දු යවන වීරයාගෙන් තමන්ට ලැබුණු උපදෙස් ගැන දැක්වුයේ මෙවන් අදහසක්.

“මම ආපු පළමු දවසෙම මාලිංග අයියා කතාකලා. ගම අහලා, අපේ පැත්තෙනේ කිව්වා. එයා ගොඩක් දේවල් මට කියල දුන්නා. හෙමින් බොලේ යවන හැටි කියල දුන්නේ එයා” නුවන් තුෂාර සඳහන් කළේය.

ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමග ඔහුගේ පන්දු යැවීමේ විලාසයට සමානව පන්දු යවන මෙම ක්‍රීඩකයා අත්හදා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සාහ දරන සෙයකි. දිනෙක ලසිත් මාලිංග ගේ මට්ටම දක්වා ඔහුව රැගෙන ඒම ශ්‍රී ලංකා වේගපන්දු යවන පුහුණුකරුවන්ගේ ද උත්සාහයවී ඇති බව පෙනේ.

“ඔහුට ලසිත් මාලිංගට සමාන ඉරියව්වක් තියෙන්නේ. ඒ වගේ ක්‍රීඩකයෝ හරි අඩුයි. ඒවගේ අයව වෙනස් කරන්න හදන්න හොඳ නැහැ. ඔහුව හොඳින් බලාගත්තොත් අපිට ලසිත් මාලිංග වගේ ක්‍රීඩකයෙක් ඉදිරියේ හදාගන්න පුළුවන්.” ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු චමින්ද වාස් නුවන් තුෂාර ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිටතම වේගපන්දු යවන්නෙකු ලෙස සැළකෙන චමින්ද වාස් යටතේ ඉදිරියේ පුහුණුවීම් ලබන නුවන් තුෂාරට ලසිත් මාලිංගගේ අඩුව යම්තාක් දුරට හෝ පිරවීමට හැකිවේවා යන්න සමාජ මාධ්‍යවල නුවන් තුෂාර ගැන අදහස් දැක්වූ බොහෝදෙනාගේ බලාපොරොත්තුව වී ඇති බවක් ද පෙනෙන්නට ඇත.

READ MORE:  බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
‘මාලිංග වගේ පන්දු යවන නුවන් තුෂාර හරි unique’ – චමින්ද වාස්

Source: BBC