ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා

Local

Gotabhaya Rajapaksa
Gotabhaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන අවධියේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව ඇතැයි දක්වමින් ලද පැමිණිල්ල කෙරෙහි අවධානය යොමු වී ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමටත්, වසර 2005 ජනාධිපතිවරණයේදී ඔහුට සිය ඡන්දය භාවිත කිරීමට තිබු හැකියාවත් ප්‍රශ්ණ කරමින් අදාළ පැමිණිල්ල යොමු කරනු ලැබුවේ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසිනි.

Ex Defence Secretary became a US citizen in 2003; name on 2005 voter register:
Ex Defence Secretary became a US citizen in 2003; name on 2005 voter register:
Source: Sundayobserver

රජයට අයත් ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත ද මේ කරුණ සම්බන්ධයෙන් පසුගියදා පළ කළ දීර්ඝ ලිපියට, ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් 2005 මුල්කිරිගල ආසනයේ මැදමුලන ඡන්ද කොට්ඨාසයේ ඡන්ද ලැයිස්තුවේ පිටපතක්ද ඇතුලත්ව තිබිණි. 2003 වසරේ අමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු වුයේ 2005 වසරේ ජනාධිපතිවරණයෙන් පසු බව ද පෙන්වා දුණි.

මේ පිළිබඳ විමසීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවුවද ඔහුගේ ප්‍රකාශකයකු පැවසුවේ රජයට සම්බන්ධ පිරිස් විවිධ අභූත චෝදනා නගමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමේ අසාර්ථක උත්සාහයක නියැලී සිටින බවකි.

කෙසේවෙතත්, නිවේදනයක් නිකුත් කළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකාවේ පුරවැසියකුව නොසිටින පසුබිමකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව සිටීමත්, වසර 2005 මෙරටේ පැවැත්වූ පස්වැනි ජනාධිපතිවරණයේදී ඔහු සිය ඡන්දය භාවිත කිරීමත් බරපතල තත්ත්වයක් ලෙස හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියෙක් නොවන්නෙකුට පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණය යන එකදු මැතිවරණයකදී මෙන්ම ජනමත විමසුමකදී තම ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ව්‍යාජ ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම හා ඡන්දය භාවිත කිරීම අධිකරණය හමුවේ දඬුවමට ලක්විය හැකි වරදක් ලෙස පෙන්වාදෙයි.

READ MORE:  පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා

මෙකී ක්‍රියාවලිය පිළිබඳ කඩිනම් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමත්, ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇති පාර්ශ්ව අනාවරණය කරගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සතුව මේ මොහොතේ බරපතල වගකීමක් ඇති බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කෙරුණු පුද්ගලයන්ගේ නම් දැක්වෙන, ඇමරිකානු රජය විසින් අන්තර්ජාලයේ පළ කරන ලද දෙවන කාර්තුවේ නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම ගැන පසුගිය සතියේ ආන්දෝලනයක් ඇති විය.

ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කිරීමට අප්‍රේල් 17 වෙනිදා ඉල්ලීමක් කළ බවත් මැයි 03 වෙනිදා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් වුණු බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව දෙවැනි කාර්තුවේ නාම ලේඛනයේ ඔහුගේ නම ඇතුළත් වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළත් එහි ද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම මත ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ගැන යළි කතාබහක් ඇතිවිය.

කෙසේනමුත් සඳුදා දින (අගෝ. 19) මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ ඇමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ පුරවැසිභාවය ඉවත් කළ අයගේ නම් මෙම ලේඛනයට ඇතුළත් කිරීම ඇතැම් අවස්ථාවල කල්ගත වන බවය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා නැද්ද යන්න ප්‍රකාශ නොකිරීමට ඇය එහිදී වගබලාගෙන තිබේ. පුද්ගලයන්ගේ පුරවැසිභාවය වැනි පුද්ගලික කරුණු ගැන අදහස් නොදක්වන බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සතියේ බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

Source: BBC