බෙන් ස්ටෝක්ස්: “විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා” සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා

Sports

Ben Stokes
Ben Stokes

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් ඔබ අපේක්ෂා නොකරන සම්මානයක් වෙනුවෙන් ඔහු නිර්දේශ වී තිබේ.

ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූ ඔහු නිර්දේශ වී ඇත්තේ, වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයටය.

තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.

“ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ. ඒත් ඔහු ක්‍රයිස්ට්චර්ච්වල ඉපදුණේ. ඔහුගේ දෙමාපියනුත් දැන් ඉන්නේ නවසීලන්තයේ. ඒ වගේ ම ඔහු මාඕරි ආදිවාසී පරපුරට සබඳතා ඇත්තෙක්. ඒ නිසා ඔහු නිර්දේශ කරන්න පුළුවන් යැයි සිතන ‘කිවි’වරුන් ඉන්නවා” එම සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු වන කැමරන් බෙනට් පැවසීය

2019 ලෝක කුසලානය

එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගිය අවස්ථා රැසකදී බෙන් ස්ටෝක්ස් සාර්ථකව පන්දුවට පහර දෙමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ම දක්නට ලැබිණි.

තරග 11කට සහභාගි වෙමින් ඔහු එහිදී ලකුණු 465ක් රැස් කිරීමට සමත් විය.

ඒ සියලු ඉනිම් අතරින් වඩාත් සුවිශේෂී වූයේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු නොදැවී රැස් කළ ලකුණු 84ය. ජොස් බට්ලර් හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වී සිටි මොහොතක බෙන් ස්ටෝක්ස් සිය ඉනිම ගොඩ නගමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් විය.

එහිදී බෙන් ස්ටෝක්ස්ගේ සිරුරෙහි වැදී පන්දුව 4 සීමාව පසුකරගෙන ගිය අතර ඉන් ලකුණු 6ක් එංගලන්තයට ලැබිණි.

ඒ සම්බන්ධයෙන් බීබීසී ටේල්එන්ඩර්ස් විශේෂාංගය සමග අදහස් දැක්වූ එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පැවසුවේ, බෙන් ස්ටෝක්ස් තරග විනිසුරුවරුන් වෙත ගොස් එම ලකුණු 4 ඉවත් කර ගත හැකි ද? යනුවෙන් විමසූ බවය.

කෙසේ වෙතත්, තරගයේ විස්තර විචාරකයින් පැවසුවේ, පන්දුව අනපේක්ෂිත ආකාරයෙන් ඔහුගේ සිරුරෙහි වැදුණු හෙයින් බෙන් ස්ටෝක්ස්ට දොස් පැවරිය නොහැකි බවය.

READ MORE:  බෙන් ස්ටෝක්ස් 'විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා' සම්මානය අත හරී

“ඒක තමයි නීතිය,” ජේම්ස් ඇන්ඩර්සන් පැවසීය.

අනතුරුව පැවති අතිරේක පන්දු වාරයේදී පන්දු 3කදී ලකුණු 8ක් රැස් කරමින් ජොස් බට්ලර් සමග එක්ව නවසීලන්තයට ලකුණු 15ක ඉලක්කයක් ලබා දුන්නේය.

කෙසේ හෝ අවසානයේදී එංගලන්තය පළමු වරට ලෝක කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද බෙන් ස්ටෝක්ස් නම් කෙරිණි.

පියාට ගෞරවයක් වූ අමුතු අභිනය

බෙන් ස්ටෝක්ස් ඡායාරූපවලට පෙනී සිටින ඇතැම් අවස්ථාවල සිය අතෙහි ඇඟිලිවලින් අමුතු අභිනයක් දක්වයි. ඒ, සිය වමතෙහි මැදැඟිල්ල නමාගෙන ඡායාරූපවලට පෙනී සිටීමෙනි. ඔහු පවසන්නේ එය සිය පියාට ගෞරවයක් ලෙස කරන බවය.

බෙන් ස්ටෝක්ස්ගේ පියා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩකයෙකි.

“මගේ තාත්තා ක්‍රීඩා කරන කාලයේ දණහිසේ ආබාධයක් නිසා දවසක් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තිබුණා. ඒ වෛද්‍යවරයා කියලා තිබුණා තාත්තාගේ ඇඟිල්ලක ශල්‍යකර්මයක් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ තාත්තා කියලා තිබුණේ, මට ක්‍රීඩා කරන්නේ නැතුව ඉන්න බැහැ, ඒ නිසා ඇඟිල්ල කපලා දාන්න පුළුවන් ද? කියලා,” බෙන් ස්ටෝක්ස් අයිටීවී නාලිකාවේ ගුඩ් මෝර්නිං බ්‍රිටේන් වැඩසටහනට එක්වෙමින් පවසා තිබිණි.

“මම හැම කණ්ඩායම් ඡායාරූපයකදී ම ඇඟිල්ල නවාගෙන ඉන්නේ ඒ නිසයි.”

“ආපහු නම් බැහැ”

බෙන් ස්ටෝක්ස් පැවසුවේ, ලෝක කුසලාන අවසන් තරගයේ අතිරේක පන්දු වාරය වෙනුවෙන් පන්දුවට පහර දීමට තමන්ට අවශ්‍යතාවක් නොවූ බවය.

“මම කිව්වේ ජොස් බට්ලර් එක්ක ජේසන් රෝයි යවන්න කියලා. ඒත් නායක මෝගන්ට ඕන වුණේ වමත් දකුණත් යුගලක් යවන්න. ඒ නිසා මට යන්න වුණා. ආයෙත් නම් එහෙම කරන්න බැහැ,” ඔහු පැවසීය.

Ben Stokes
Ben Stokes

බෙන් ස්ටෝක්ස්ගේ දක්ෂතා

2011 වසරේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු එක්දින තරග 95කදී ලකුණු 2682ක් රැස් කර තිබේ.ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 20ක් අයත්ය. ඊට අමතරව ඔහු එක්දින කඩුලු 70ක් බිඳ හෙළා ඇත.

ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 3152ක් රැස් කර ඇති අතර කඩුලු 127ක් බිඳ හෙළා තිබේ.

READ MORE:  Steve the Unstoppable: Smith completes rare Ashes double

Source: BBC