ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

Local

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද නියෝග කර තිබේ.

ඒ, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩකඩ සැලසීමෙන් ගිනිඅවි ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවට කරුණු සඳහන් කරමිනි.

ඔවුන් දෙදෙනාට අමතරව විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන ලියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික ගුවන් හමුදාපති පී.බී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න හා රක්නා ලංකා සමාගමේ සභාපති පර්සි වික්ටර් සමරවීර යන මහත්ම මහත්මීන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ, ගිනිඅවි ආඥා පනත යටතට ගැනෙන චෝදනාවලට අමතරව සමන් දිසානායක, පී.බී. ප්‍රේමචන්ද්‍ර, නිශ්ශංක සේනාධිපති යන සැකකරුවන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි ගෙතීම සහ ඊට ආධාර අනුබල දීම යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන චෝදනා ගොනු කළ හැකි බවට ය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී තමාව අත්අඩංගුවට ගැනීමට වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න එගොඩවෙල, නිශ්ශංක සේනාධිපති, නන්දන දියබලනගේ, සමන් දිසානායක යන සැකකරුවන් 5 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව ද නීතිපතිවරයා එමගින් වැඩබලන පොලිස්පතිවරයාට පෙන්වා දී තිබිණි.

ඊයේ ඒ සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 5 නිශ්ප්‍රභ කර ඇති බවත් එම නියෝගය නිකුත් කිරීමට ආසන්නව තිබියදී නිශ්ශංක සේනාධිපති සහ නන්දන දියබලනගේ යන සැකකරුවන් දෙදෙනා රහසිගතව විදේශගත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය.

READ MORE:  කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්