පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා – අස්ගිරි මහ නාහිමි

Local

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වන බවට කිසිදු සැකයක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි.

උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි
අස්ගිරි පාර්ශවයේ මහා නායක

“පසුගිය දවසක මා විසින් සිදු කළ අනුශාසනාවක ඇතැම් කරුණු පිළිබඳව වැරදි අර්ථකථනයන් හුවා දක්වන්නට සමහර පිරිස් උත්සහ කරන බව පෙනී යනවා. එහිදී මා එක්සත් ජාතික පක්ෂය පිළිබඳවත් මුස්ලිම් ජනතාව පිළිබඳවත් ඉදිරිපත් කළ කරුණු බොහෝ ජනතාව අතර කතාබහට ලක් වු කරුණුයි. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් වැනි නායකයන්ගෙන් ආරම්භ වෙලා පෝෂණය වුණු මහා දැවැන්ත පක්ෂයක්. ඒ පක්ෂය තුළින් රටට, ජාතියට, ආගමට, මිනිස් වර්ගයාට අපරිමිත සේවාවක් සිදු වුණා. අද එක්සත් ජාතික පක්ෂයේ යම් යම් දුර්වලතා නිසා ජනතාව අතර අප්‍රසාදයක් ගොඩනැගී තිබෙනවා. පසුගියදා මුස්ලිම් අන්තවාදී අතලොස්සක් නිසා අසරණ ජනතාවට සිදු වූ මහා විපත නිසා ජනතාව තුළ මහා භීතියක් හා රජය පිළිබඳ අප්‍රසාදයකුත් ගොඩනැගී තිබෙනවා. මේවාට රජය නිසි පරීක්ෂණ යොදා වැරදිකරුවන් සොයාගෙන දඬුවම් ලබා දීමයි ජනතාව බලාපොරොත්තු වන්නේ. එසේ නොවුණහොත් ජනතාව ඒ පිළිබඳව විශාල අප්‍රසාදයක් පළ කරනවාට කිසිම සැකයක් නැහැ. අපි රජය කෙරෙහිවත් මුස්ලිම් ජනතාව කෙරෙහිවත් වෛරයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බොහෝ කාලයක් සහෝදරත්වයෙන් සුහදත්වයෙන් ජීවත් වුණා වගේම ඉදිරියටත් එලෙසම ක්‍රියා කිරීමයි අපි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම රජය විසින් කළ යුතුයි. භික්ෂූන් වහන්සේලා විදිහට අපිට පැවරී ඇත්තේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පමණයි. ඒ හැර පක්ෂ දේශපාලනයක් හෝ වෙනත් ජාති භේදයක් අප තුළ ඇත්තේම නැහැ.”

Related Articles


READ MORE:  පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි