මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු ඇරඹේ

Local

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන්හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව ස්ථාන 200ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5ක් විසින් සිදු කරනු ලබයි.

ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවන් නොවන අයුරින් සිදු කරන අතර මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර් 16ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකරනු ඇති අතර, ඒ මත මෙම නවීන සුඛෝපභෝගී සැහැල්ලු දුම්රිය සේවාව ආරම්භ කරනු ලැබේ.

දුම්රිය මාර්ගය දැනට පවතින මහා මාර්ග මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කුළුණු මත ඉදිකෙරේ.

ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම්පොළවල් 16ක් ඉදිකෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගනයක් ද ඉදිකෙරේ.

ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී සැහැල්ලු විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදා ගනු ලබයි.

ආරක්ෂාකාරී සහ සුවපහසු ප‍්‍රවාහන සේවාවක් මෙමගින් සැපයේ.

මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇති.

කණු මත ඉදිවන දුම්රිය මාර්ගය මීටර් 8.4ක පළලින් සමන්විත ය.

ධාවනය සඳහා දුම්රිය කට්ටල 25ක් යොදා ගැනීමට නියමිත අතර, ඒවා දුම්රිය මැදිරි 4 කින් සමන්විත වරකට මගීන් 800ක් පමණ රැගෙන යාමේ ධාරිතාවකින් යුක්ත ය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලඹේ IT Park දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගත වන කාලය මිනිත්තු 32කි.

කාර්ය බහුල වේලාවන් තුළ සෑම මිනිත්තු 3 කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟා වනු ඇත.

කාර්ය බහුල නොවන වේලාවන්වල සීමා සහිත නැවතුම් දුම්රියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, එය මිනිත්තු 28 ක් තුළදී කොළඹ කොටුව සිට IT Park දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත.

READ MORE:  මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...

මෙම ව්‍යාපෘතිය කාන්තාවන්, දරුවන් සහ අනෙකුත් ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සපයන සේවාවක් ලෙස ඒ සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුගත වෙමින් නිර්මාණය කරනු ඇත.

ව්‍යාපෘතියේ මුළු ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් පමණ වන අතර, එම මුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි.

මෙම ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොළී අනුපාතය වාර්ෂිකව 0.1%ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01%ක් ද සහිතව ලබා දෙයි.

මෙම ණය මුදල පියවීමට අවුරුදු 40ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුළත් ය.

මෙමගින් ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට මෙම පොදු ප‍්‍රවාහන ක‍්‍රමය සමග සම්බන්ධ වීමත්, නාගරික රථ වාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩුවනු ඇති.

ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් කාබන් විමෝචනය වසරකට ටොන් 53,929කින් අඩුවනු ඇත.

ඒ අනුව කොළඹ සැහැල්ලු දුම්රිය සේවය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතරම එම ව්‍යාපෘතිය හේතුවෙන් රථ වාහන අනතුරු ද අඩු වනු ඇති.

Related Articles

කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...