ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය

Sports

Sri Lanka and England Flags

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද සිකුරාදා (ජුනි 21) සත්කාරක එංගලන්තය සමග පැවැත්වේ. ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු සඳහා මෙම තරගය ජය ගැනීම අතිශයින් වැදගත් වේ.

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ස්ථානයේ සිටින එංගලන්ත කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන ලකුණු පුවරුවේ 3 වන ස්ථානයේ සිටින අතර ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ලකුණු පුවරුවේ 6 වන ස්ථානයේ පසුවේ.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරගාවලි දෙක ම එංගලන්තය පහසුවෙන් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක් දින තරග 10න් 6ක් එංගලන්තය ජය ගනිද්දී තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. එක් තරගයක ලකුණු සම වී තිබේ.

අද (ජුනි 21) තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ දුරට වෙනස් කම් දෙකක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ. ලහිරු තිරිමාන්න වෙනුවට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ද, මිලින්ද සිරිවර්ධන වෙනුවට පා දඟ පන්දු යවන ජීවන් මෙන්ඩිස් ද කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවේ සිකුරාදා තණ තීරුව යළි පරීක්ෂා කර කණ්ඩායම ගැන අවසන් තීරණයක් ගන්නා බවය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පසුගිය වසර කිහිපය තුළ පැවති සුවිශේෂී තරග කිහිපයක තොරතුරු පහත දැක්වේ.

 Kumar Sangakkara and   Lahiru Thirimanne
Kumar Sangakkara and Lahiru Thirimanne

ශ්‍රී ලංකාව 366/6, එංගලන්තය 132 – ඔක්තෝබර් 2018

ශ්‍රී ලංකාව හා එංගලන්තය අවසන් වරට එක්දින තරගයකදී මුණගැසුණේ මීට මාස 8කට පමණ පෙර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට තම ක්‍රිකට් ඉතිහාසයේ අත්වුණු දරුණුතම එක්දින තරග පරාජය අත් කර දීමට සමත් විය. එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 219 කිනි.

එම තරගයට පෙර තරගාවලිය ජය ගෙන තිබූ නිසා එංගලන්ත කණ්ඩායම තම නායකයා ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනෙකු විවේක ගන්වා එම තරගයට එක්විණි. එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීමත් විශේෂත්වයකි. දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ නොමැති වීම ගැන තමන් පුදුමයට පත්වූ බව හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකු වන පොල් ෆාබ්‍රේස් ද බීබීසි සිංහල සේවයට ලෝක කුසලාන තරගාවලිය අතරතුර කියා සිටියේය.

READ MORE:  වාර්තාවකුත් සමගින් යොවුන් පිතිකරු අවිශ්කගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව 286/9, එංගලන්තය 286/8 – ජූනි 2016

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු 7ක් රැස් කිරීමට එංගලන්තයට අවශ්‍ය වී තිබිණ. එංගලන්ත අංක 10 පිතිකරු ලියම් ප්ලන්කට් ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප්ට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වීමට තිබූ ජයග්‍රහණයක් අහිමි කරමිනි.

එම තරගයේ එක් අවස්ථාවක එංගලන්ත කණ්ඩායම ලකුණු 82කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවූ අවස්ථාවේ ලකුණු 95ක් නොදැවී රැස් කර තරගය සම කිරීම දක්වා ගෙන යාමට වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සමත් විය. එම තරගාවලියේ සෙසු තරග 3 පහසුවෙන් ජය ගනිමින් එංගලන්තය තරගාවලිය ජය ගත්තේය.

එංගලන්තය 309 /6, ශ්‍රී ලංකාව 312/1 – 2015 මාර්තු අවසන් ලෝක කුසලාන ගැටුම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන තරගයක නියැළුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 9 යකින් පහසුවෙන් ජය ගත්තේ ලකුණු 300කට වැඩි දැවැන්ත ඉලක්කයක් හඹා යාමෙන් අනතුරුවයි. එහිදී ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කරන ලහිරු තිර්මාන්න නොදැවී ලකුණු 139ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ගෙන ගිය අතර කුමාර් සංගක්කාර ද නොදැවී ශතකයක් වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම 2007දී මෙන් ම 2011 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලිවලදී එංගලන්ත කණ්ඩායම පරාජය කර තිබේ. 2011 අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කළේ කඩුලු 10කින් වීමත් විශේෂත්වයකි.

අවසාන වරට එංගලන්තය ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව පරාජය කළේ 1999 දීය.

Source: BBC Sinhala